සභාපතිතුමාගේ පණිවුඩය

IMG 8404කිසියම් රටක රාජ්‍ය ප්‍ර‍තිපත්ති තීරණ ක්‍රියාවට නැගීම සඳහා රජයේ අරමුදලින් වැටුප් ගෙවා, පත් කරගනු ලබන නිලධාරීන් විසින් පොදු ජනතාව වෙත සපයනු ලබන සේවාව රාජ්‍ය සේවය යනුවෙන් හැඳින්විය හැකිය. රාජ්‍ය සේවය තුළ විවිධ සේවාවන් ඉටුකරනු ලබන පිරිස, කම්කරුවාගේ සිට අමාත්‍යාංශ ලේකම්වරයා දක්වා ඉතා පුළුල් පරාසයක විහිදී පවතී. මෙම පරාසය තුළ රාජ්‍ය නිලධාරීන්ගේ තනතුරු, නිල මට්ටම්, ඉතා විශාල ප්‍ර‍මාණයක් හඳුනා ගත හැකිය. මෙවැනි එක් එක් නිලයන් සඳහා විශේෂිත වූ රාජකාරීන් වෙන් වෙන් වශයෙන් හඳුන්වා දී ඇත.රජයේ නිලධරයෙකුගේ වගකීම වනුයේ තමා වෙත පැවරී ඇති එම වගකීම් නිසි පරිදි ඉටු කිරීමය.

සියලු රජයේ නිලධාරීන් ජනතාව උදෙසා සේවය කරනු ලැබේ. එසේම, තම මුදලින් වැටුප් ලබන නිලධාරීන්ගෙන් තමන්ට අවශ්‍ය සේවාව නිසි පරිදි ඉටුකරවා ගැනීමට පොදු මහජනතාවට හිමිකමක් ඇත. එබැවින්, සියලු රාජ්‍ය නිලධාරීන් රජයේ සේවයේ තම පත්වීම දරනු ලබන්නේ ජනතාවට වන භාරයක් ලෙසිනි.

“රජයේ නිලධාරීන් ජනතාවට ලබාදෙන සේවාව නිසි පරිදි ලබා දිය යුතුය” යන්නෙන් අදහස් කරනු ලබන්නේ, තමන් ඉටුකරනු ලබන සේවාවේ ගුණාත්මකභාවය, ඵලදායීතාවය, කාර්යක්ෂමතාවය ජනතා අභිලාශයන් ඉටුකිරීමට තරම් ප්‍ර‍ශස්ත මට්ටමක තිබිය යුතුය යන්න වේ. එබැවින්, එවැනි ප්‍ර‍ශස්ත මට්ටමේ සේවාවක් ලබාදිය හැකි වඩාත්ම සුදුසු පුද්ගලයා රජයේ සේවය සඳහා තෝරා පත්කිරිමේ වැදගත්කම මැනවින් පැහැදිලි වේ.

රජයේ නිලධාරීන්, රජයේ තනතුරු වලට පත් කිරීම, ඔවුන් උසස් කිරීම, ස්ථානමාරු කිරිම, ඔවුන් කෙරෙහි විනය පාලනය සහ සේවයෙන් නෙරපා හැරීම යන මූලික වගකීම ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ 54 වන ව්‍යවස්ථාව යටතේ පිහිටුවා ඇති රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත එහි 55 වෙනි ව්‍යවස්ථාව මඟින් පවරා දී ඇත. ඒ අනුව, ජනාධිපතිවරයා විසින් සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරනු ලබන නිලධාරීන්ද, විගණන සේවා කොමිෂන් සභාව සහ ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පත්කරනු ලබන නිලධාරීන්ද, ත්‍රිවිධ හමුදා නිලධාරීන්ද හැරුණු කොට අනිකුත් සියලුම රජයේ නිලධාරීහු රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ පාලනයට යටත් වන්නෝය. 13 වන ආණුඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිටුවන ලද පළාත් රාජ්‍ය සේවයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන්ටද මෙම කොමිෂන් සභාවේ සේවය ලබාගත හැකිය. ඒ අනුව බලන කල, මෙම කොමිෂන් සභාවේ ප්‍ර‍තිලාභීන් සංඛ්‍යාව මිලියනයකට ආසන්න වේ. එබැවින්, කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණ ඇතිව, මෙම කොමිෂන් සභාවේ බලතල ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ 56 සහ 57 ව්‍යවස්ථාවන් පරිදි අධ්‍යාපන හා සෞඛ්‍ය කමිටු දෙකකට හා අමාත්‍යාංශ ලේකම්, දෙපාර්තමේන්තු ප්‍ර‍ධානීන් වැනි නිලධාරීන්ට පවරා දී ඇත.

මෙම කොමිෂන් සභාව විසින් සෘජුවම ඉටුකරනු ලබන සේවාවන් වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කරනු ලබන අතර, සමහර සේවාවන් මෙම කොමිෂන් සභාවේ වෙබ් අඩවිය මඟින් ලබා ගැනීමට කටයුතු යොදා ඇති බව සතුටින් ප්‍ර‍කාශ කරමි. එසේම, මා ඇතුළු කොමිෂන් සභාවේ සාමාජික සාමාජිකාවන් සියලු දෙනාද, කමිටු සාමාජිකයින්ද කොමිෂන් සභාවේ ලේකම්වරයා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයද, මෙම කොමිෂන් සභාව විසින් ලබාදෙන සේවාවන් හැකි උපරිම මට්ටමෙන් ලබාදීමට කැපවීමෙන් කටයුතු කරන බව සිහිපත් කරමි.

ජනතාව වෙනුවෙන් විශිෂ්ට රාජ්‍ය සේවාවක් ලබාදීම අපගේ එකම අභිලාශය වන්නේය.