සභාපතිතුමාගේ පණිවුඩය

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය යනු රාජ්‍ය පාලන යාන්ත්‍රණයේ ප්‍රධානතම කුළුණක් වන අතර, රාජ්‍ය සේවය රජයේ මුදලින් වැටුප් ගෙවා පත්කරගනු ලබන නිලධාරීන් මගින් ඉටු කරනු ලබන බැවින් පොදු ජනතාවට කාර්යක්ෂම, ගුණාත්මක, විනිවිදභාවයෙන් යුත් හා වගවීමෙන් පිරි සේවාවක් ලබාදීම එහි මූලික අරමුණ වේ. එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ස්ථාපිත කර ඇති ස්වාධීන ආයතනයක් ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාවට විශේෂ වගකීමක් පැවරී ඇත.
සියලු රජයේ නිලධාරීන් ජනතාව උදෙසා සේවය කරනු ලැබේ. එසේම, තම මුදලින් වැටුප් ලබන නිලධාරීන්ගෙන් තමන්ට අවශ්‍ය සේවාව නිසි පරිදි ඉටුකරවා ගැනීමට පොදු මහජනතාවට හිමිකමක් ඇත. එබැවින්, සියලු රාජ්‍ය නිලධාරීන් රජයේ සේවයේ තම පත්වීම දරනු ලබන්නේ ජනතාවට වන භාරයක් ලෙසිනි.
“රජයේ නිලධාරීන් ජනතාවට ලබාදෙන සේවාව නිසි පරිදි ලබා දිය යුතුය” යන්නෙන් අදහස් කරනු ලබන්නේ, තමන් ඉටුකරනු ලබන සේවාවේ ගුණාත්මකභාවය, ඵලදායීතාවය, කාර්යක්ෂමතාවය ජනතා අභිලාශයන් ඉටුකිරීමට තරම් ප්‍රශස්ත මට්ටමකට තිබිය යුතුය යන්න වේ. එබැවින්, එවැනි ප්‍රශස්ත මට්ටමේ සේවාවක් ලබාදිය හැකි වඩාත්ම සුදුසු පුද්ගලයා රජයේ සේවය සදහා තෝරා පත්කිරිමේ වැදගත්කම මැනවින් පැහැදිලි වේ.
රජයේ නිලධාරින්, රජයේ තනතුරු වලට පත් කිරීම, ඔවුන් උසස් කිරීම, ස්ථානමාරු කිරිම, ඔවුන් කෙරෙහි විනය පාලනය සහ සේවයෙන් නෙරපා හැරීම යන මූලික වගකීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 54 වන ව්‍යවස්ථාව යටතේ පිහිටුවා ඇති රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත එහි 55 වෙනි ව්‍යවස්ථාව මගින් පවරා දී ඇත.
සුපිලිපන්න, කාර්යක්ෂම, ජනතා කේන්ද්‍රීය හා ඩිජිටල් රාජ්‍ය පරිපාලනයක් සදහා වන රජයේ ප්‍රතිපත්තිමය දිශානතියට අනුකූලව, රාජ්‍ය සේවා කොමිෂන් සභාවද සිය කාර්යභාරය තවදුරටත් නවීකරණය කිරීම, තාක්ෂණය මත පදනම් වූ සේවා පුළුල් කිරීම, කාලෝචිත තීරණ ගැනීම සහ මහජන විශ්වාසය ශක්තිමත් කිරීම සඳහා කැපවී සිටී.
රාජ්‍ය සේවයේ වෘත්තීයභාවය, කුසලතා මත පදනම් වූ මානව සම්පත් කළමනාකරණය, ආචාරධර්ම සහ මහජන සේවයට ඇති කැපවීම තවදුරටත් ශක්තිමත් කිරීම අපගේ අපේක්ෂාවයි. එමෙන්ම රාජ්‍ය නිලධාරීන්ට සාධාරණ, විනිවිද හා කාර්යක්ෂම සේවාවක් සහතික කිරීම සඳහා කොමිෂන් සභාව සිය ව්‍යවස්ථානුකූල වගකීම් ඉටු කරනු ඇත.
රාජ්‍ය සේවයේ උන්නතිය සඳහා සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය හා කැපවීම අපේක්ෂා කරන අතර, ශ්‍රී ලංකාවට ගුණාත්මක, කාර්යක්ෂම, විශ්වාසනීය හා ජනතා අපේක්ෂාවන්ට ගැළපෙන රාජ්‍ය සේවාවක් ගොඩනැගීම වෙනුවෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව නිරන්තරයෙන් කැපවී කටයුතු කරන බව විශ්වාසයෙන් ප්‍රකාශ කරමි.
එස්. ඒ. නිමල් සරණතිස්ස
සභාපති







